පෙම්වතිය හැරගිය නිසා පෙම්වතා මැහි තෙල් බොයි
පිටු පෑ පෙම්වතියට පෙම්වතාගෙන් පිහි පහර
මඟුල් ගෙදරට කඩා පැන්න පැරුණි පෙම්වතා පෙම්වතියට වෙඩි තබයි
මේවා මා විසින් ලියූ මනඃකල්පිත පුවත් සිරස්තල කිහිපයකි. ඒවා සැබෑ සිරස්තල කිහිපයක්යැයි කීවද ඔබ එය පිලිගන්නා බව මම විශ්වාස කරමි. මන්ද දැන් අපට මෙවැනි පුවත් සිරස්තල විස්මය උපදවන අසාමාන්‍ය පුවත් සේ නොහැඟෙන තරමටම ඒවා සුලභ වී ඇති බැවිනි.
ඉන් ඇඟවෙන්නේ වත්මන් පෙම්වතුනට ආවේග පාලනය කරගැනීමට ඇති නොහැකියාව නොවේ ද? මෙය පෙම්වතුනට පමණක් නොව රටේ විවිධ වෘත්තීන් හී නියැලෙන බොහෝ දෙනෙකුට සාධාරණය. සන්තුෂ්ඨියට වඩා සැපය සොයා හැල්මේ දුවන සමාජයක සියලු සාමාජිකයෝ කායික මානසික වෙහෙසට පත්ව සිටිති. ඔවුන් සිය ආවේ පිට කරන්නේ විවිධ අයුරින්ය.
අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහ කඳුළු රැඳි පෑනෙන්
කියවා හැඬුවත් මට නම් කම් නැහැ
මගෙ හිත අද තද නින්දේ
තමා පෙම් බැඳි පෙම්වතිය වෙනත් පිරිමියෙකු අත ගනියි. මෙය දරාගැනීම සැබෑ පෙම්වතෙකුට කෙතරම් වේදනාකාරී ද? පෙම්වතුන් මුහුණදෙන සනාතන ධර්මතාවක් වන මෙම හැඟීම දරාගැනීමට මෙම ගීතයේ එන පෙම්වතා උත්සාහ දරන්නේ වෙනත්ම ආකාරයකිනි.
අභරණ අන්දන රන්වන් විහිළුව
සදාතනික ආදරය නොවේ
විවාහය සම්බන්ධ සදාචාරාත්මක හරය පිළිබඳව දැඩිව සලකන ලාංකික ජන සමාජය වෙත ඉහත පද පෙළ එල්ල කරන්නේ ප්‍රබල අභියෝගයකි. ආභරණ අන්දන රන්වන් විහිළුව කුමක් ද? විවාහය නොවේ ද? විවාහය යනු සදාතනික ආදරයේ ප්රකාශනයක් ද? ඇය වෙනත් තරැණයකු අත ගත්තද සැබෑ ප්‍රේමය ඉන් නිරෑපණය නොවන බව දන්නේ ඇගේ සහ ඔහුගේ හෘද සාක්ෂීන් පමණි.
ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල්ට අනුව ප්‍රේමය වනාහී දෙදෙනෙකු විසින් එකම ආත්මයක් බෙදා හදා ගැනීමකි. මේ ගීතයේ එන පෙම්වතාද අන්‍යාලාපයෙන් ප්‍රකාශ කරන්නේ එයම නොවේ ද?
එතැනින් නොනවතින ඔහු එයා පැළැන්දූ මංගල මුදුවේ ආඩම්බරකම දකියි. ඇය පැළඳි මංගල මාලය ඇගේ ගෙල සරසන ආභරණයක් නොව බලහත්කාරයෙන් ළමැදේ ලගිනා නොවටිනා වස්තුවකි.
ආදරයේ ආගිය තතු දන්නේ ආදරවන්තයන්ම හැර අන් කවුරැන්ද? ප්‍රේමණීය අතීතයක මිහිරි මතකය පෑනට උපමා කෙරෙයි. එහෙත් ඒ අතීත මතක සියල්ලම දන්නා ඇයට නැවත එය සිහිපත් කිරීමෙන් ඇති ප්‍රතිඵලය කුමක්ද?
පෑන තවත් දේ ලියන්න කීවද
මොනව ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවකු නැහැ දන්නේ
වෙන දීගෙක ගිය ඇයට වඩා
මෙම ගීතයේ සංගීතය සහ ගායනය ටී. ෂෙල්ටන් පෙරේරා කලාකරැවාණන්ගේය. දාර්ශනික දැක්මකින් යුත් ගී ගායනා කිරීමටම සමත්වුණු ඔහුටම විශේෂිත හඬ ගුණය මේ ගීතයට සිදුකර ඇති සාධාරණය වචනයෙන් විස්තර කිරීමට යෑම නිෂ්ඵල ව්‍යායාමයකි. සැප්තැම්බර් 18 දිනට ඔහුගේ අභාවයෙන් තිස් වසරක් සපිරෙයි. එකී කාරණාවද අද දවසේ මෙම ගීතය තෝරාගැනීමට විශේෂිත වූ හේතුවකි.
විරහ වේදනාව පිළිබඳ ගීතයෙන් භාවමය කම්පනයක් නොකර ගායකයා හඬා වැටෙන විපරීත ගී බිහිවන යුගයක අවසන් ලියුමයි ගීතය විමසීම ලාංකික ගීතයේ උන්නතිය අරභයා කෙරෙන වැදගත් කතිකාවක් වනු ඇත.
I ගයා රම්‍ය අල්විස්